Tuesday, January 7, 2014

කෙල්ලෙක්.

ජීවිතේට තවත් කෙල්ලෙක් ඇවිදින්. "තවත්" කෙල්ලෙක් කිව්වට මට කවදාවත් කෙල්ලෙක් හිටියෙ නෑ. කෙල්ලො ගානක් ගැන හීන මැව්වට ජීවිතේටම යාලු වෙන්න අහගන්න පුලුවන් උනේ එකම එක කෙල්ලෙක්ගෙන් විතරයි. එයත් ගත් කටටම "බෑහ්" කිව්වා. මොනවා කරන්නද, මම හා කියලා නිකං හිටියා. ඉතිං කවුද මේ අලුත් එක්කෙනා?
මාස කීපයකට කලින් හම්බ වෙච්චි එක් කෙනෙක්. මට තවම මතකයි එයා "පවතිනවා" ය කියලා මම අඳුනගත්තු මොහොත, ඔව් මට ඒකත් පුලුවං, මිනිස්සු පවතිනවා කියලා අදුන නොගෙන ඉන්න. එයා පවතිනවා කියලා අඳුනගත්තු මොහොතෙ මම හිටියෙ දිය ඇල්ලක මුදුනට ටිකක් පාතින්. ඔලුව සම්පූරනයෙන්ම වෙනත් කෙල්ලෙක් ගැන හැඟීම් වලින් වැහිලා ගිහිනුයි තිබුනෙ. එයා එතනට ආවෙ මහ බැරෑරුම් මූනක් මවාගන. ඔව් ඉතිං දිය ඇල්ලක් මුදුනෙ ඉන්නකොට මූන බැරෑරුම් නොවෙන්න හේතුව මොකක්ද? කොහොම උනත් හදිස්සියෙම ආපු මහ සැහැල්ලුවකින් ඇගේ මූන පිරිලා ගියා පහල දර්ශනය පේනකොට. මොකද දන්නෙ නෑ. ඒත් එහෙම උනා. ඊට පස්සෙ එයා දිය ඇල්ලෙන් වැටෙන වතුර පාරට ඔලුව ඇල්ලුවා. පලමු හමු වීමෙන් මට මතක එච්චරයි.
එදා එයා ආගන්තුක කෙල්ලෙක් විතරක් උනා. ඒත් අද? ජීවිතේට හොඳටම ලං වෙලා. එයා මගේ ගැන නොදන්න දෙයක් නෑ කියන්න පුලුවන්. මගේ හිතේ එයා ගැන තියන හැගීම් ගැන ඇරෙන්න!. මූනුපොතට කෙල්ලෙක් ගැන ස්ටේටස් එකක් දාන්න විදියක් නෑ එයා අහනවා කවුද කියලා. කලින් ඒවගෙ විස්තර කියන්න පුලුවන් උනත්, අන්තිමට එයා ගැන දාපුවා ගැන කියන්නෙ කොහොමද?.. අනේ ඒවා දැම්මෙ ඔයා ගැනයි කියලා?... ඉතින් මම කිව්වා "ඔයාට මම ඒවා පස්සෙ කියන්නම් ටිකක් ඉවසන් ඉන්න" කියලා. මොන ඉවසිල්ලක්ද.. කෙල්ලට මම ඔක්කොම කියලා එක දෙයක් නොකියන එක හොඳටම අවුල් වගේ. එහෙමත් නැත්නම් නිකං ආතල් එකටද අහන්නෙ? අනේ මන්දා. ජීවිතේ අනික් හැම දෙයක් වගෙම ඒකත් ලොකු ප්‍රශ්නාර්ථයක්.
අහනවද? නැද්ද?

Sunday, December 29, 2013

ජීවිතය..

කන්න ගිහින් පර්ස් එක එලියට ඇදලා බැලුවා, පර්ස් එකටම ඉතුරු වෙලා තියෙන්නෙ රුපියල් එකසිය පනහයි. කෑම එකක් අරගන ඒකට තම්බපු බිත්තරයක් දාගත්තා. උදේටත් නොකාපු එකේ.
දැං රුපියල් සීයයි. ඉස්සරහ දවස් තුනකට හතරකටම. ඊටත් වැඩි වෙයිද මන්දා. ණයක්වත් ගන්න එකෙක්වත් නෑ ඔක්කොම ගෙදර ගිහින්. ගත්තත් ගෙවන්නෙ කොහොමද. හ්ම්ම්..
කාලා එනගමන් අම්මට කෝල් එකක් ගත්තා.

"ඇයි පුතේ?"
"නෑ මේ නිකං කෝල් කලේ"
"ඉතිං"
"මොකද දැං, තාත්තා කොහෙද වැඩ?"
"කොහෙවත් නෑ, අර බීලා ඇවිල්ලා දපලා ඉන්නෙ. වැඩ නැතුවට බොන්නනම් හම්බ වෙනවා!"
"අයියෝ මන්දා එයාගෙත් වැඩ"
"සල්ලි එහෙම තියනවද දවස් දෙක තුනකටවත්?, කීයක්වත් නෑ ගෙදර හරියෙම. මම දලු කඩලා හම්බ කරන එකෙන් ඕනි ඔක්කොම කරන්න පුතේ"
"සල්ලි ඕනි නෑ, මම මොකක් හරි කරගන්නම්"
"එහෙම කියලා ලමයින්ට ණය වෙන්න පුලුවනෑ පුතේ.."
"කමක් නෑ මොකක් හරි කරගන්න බැරියෑ. අම්මෙ එහෙනම් මම තියන්නම්"
"බුදුසරනයි පුතේ"
"බුදුසරනයි.."

Monday, December 23, 2013

තනි මං

මම කවුද, කොහෙද ඉන්නෙ, මොකද කරන්නෙ කියලා කවුරුත්ම අහන්න එපා. පෝස්ට් එකකින් දැනගන්න ලැබෙනවට වැඩි දෙයක් දැනගන්න නොලැබේවි.
මගේ නමින් නොලියා වෙන නමකින් ලියන එකේ සම්පූරන අදහසත් ඒකයි.
හදිස්සියෙ මම ඇත්තටම කවුද කියන එක දැනගන්න ලැබුනත්, කාටවත්ම කියන්න එපා.

හැමෝටම තරහ යනවා, දුක දැනෙනවා, ඒ වගේම සතුටත් දැනෙනවා.
තනි මට මේව කියන්නවත්, අහගන ඉන්නවත්, කවුරුත්ම නෑ.
ඉස්සර වගේ දැං ෆේස්බුක් එකට දාන්නත් බෑ, අඳුනන අය හොඳටම වැඩි වෙලා.
ඉතිං, දවසක් ගානෙ බැරි උනත්, ඇත්ත නමෙං ලෝකෙට කියන්න බැරි හැම දුකක්ම, කරදරයක්ම, බැනුමක්ම ඒ වගෙම සතුටක්ම අන්තිමට මෙතන නවතීවි.

කවුරුවත්ම නෙබැලුවත්, කවුරුවත්ම නොදැක්කත්, ඉස්සර ෆේස්බුක් වෝල් එක වගෙ ආයිත් ලෝකෙ මගේ හිත ලියන්න පුලුවං එකම එක බිත්තියක් තියන එක හිතට සැනසීමක්.

එහෙනං තනි මට, මගෙන්ම සුභ පැතුම්...