Tuesday, January 7, 2014

කෙල්ලෙක්.

ජීවිතේට තවත් කෙල්ලෙක් ඇවිදින්. "තවත්" කෙල්ලෙක් කිව්වට මට කවදාවත් කෙල්ලෙක් හිටියෙ නෑ. කෙල්ලො ගානක් ගැන හීන මැව්වට ජීවිතේටම යාලු වෙන්න අහගන්න පුලුවන් උනේ එකම එක කෙල්ලෙක්ගෙන් විතරයි. එයත් ගත් කටටම "බෑහ්" කිව්වා. මොනවා කරන්නද, මම හා කියලා නිකං හිටියා. ඉතිං කවුද මේ අලුත් එක්කෙනා?
මාස කීපයකට කලින් හම්බ වෙච්චි එක් කෙනෙක්. මට තවම මතකයි එයා "පවතිනවා" ය කියලා මම අඳුනගත්තු මොහොත, ඔව් මට ඒකත් පුලුවං, මිනිස්සු පවතිනවා කියලා අදුන නොගෙන ඉන්න. එයා පවතිනවා කියලා අඳුනගත්තු මොහොතෙ මම හිටියෙ දිය ඇල්ලක මුදුනට ටිකක් පාතින්. ඔලුව සම්පූරනයෙන්ම වෙනත් කෙල්ලෙක් ගැන හැඟීම් වලින් වැහිලා ගිහිනුයි තිබුනෙ. එයා එතනට ආවෙ මහ බැරෑරුම් මූනක් මවාගන. ඔව් ඉතිං දිය ඇල්ලක් මුදුනෙ ඉන්නකොට මූන බැරෑරුම් නොවෙන්න හේතුව මොකක්ද? කොහොම උනත් හදිස්සියෙම ආපු මහ සැහැල්ලුවකින් ඇගේ මූන පිරිලා ගියා පහල දර්ශනය පේනකොට. මොකද දන්නෙ නෑ. ඒත් එහෙම උනා. ඊට පස්සෙ එයා දිය ඇල්ලෙන් වැටෙන වතුර පාරට ඔලුව ඇල්ලුවා. පලමු හමු වීමෙන් මට මතක එච්චරයි.
එදා එයා ආගන්තුක කෙල්ලෙක් විතරක් උනා. ඒත් අද? ජීවිතේට හොඳටම ලං වෙලා. එයා මගේ ගැන නොදන්න දෙයක් නෑ කියන්න පුලුවන්. මගේ හිතේ එයා ගැන තියන හැගීම් ගැන ඇරෙන්න!. මූනුපොතට කෙල්ලෙක් ගැන ස්ටේටස් එකක් දාන්න විදියක් නෑ එයා අහනවා කවුද කියලා. කලින් ඒවගෙ විස්තර කියන්න පුලුවන් උනත්, අන්තිමට එයා ගැන දාපුවා ගැන කියන්නෙ කොහොමද?.. අනේ ඒවා දැම්මෙ ඔයා ගැනයි කියලා?... ඉතින් මම කිව්වා "ඔයාට මම ඒවා පස්සෙ කියන්නම් ටිකක් ඉවසන් ඉන්න" කියලා. මොන ඉවසිල්ලක්ද.. කෙල්ලට මම ඔක්කොම කියලා එක දෙයක් නොකියන එක හොඳටම අවුල් වගේ. එහෙමත් නැත්නම් නිකං ආතල් එකටද අහන්නෙ? අනේ මන්දා. ජීවිතේ අනික් හැම දෙයක් වගෙම ඒකත් ලොකු ප්‍රශ්නාර්ථයක්.
අහනවද? නැද්ද?

3 comments: